web analytics
You are here
comman කතුවැකිය 

ඔබත් පිරුණු කළයක් ද?

අර්ධං ඝටං ඝොෂණ යෙච්ච ශබ්දං

සම්පූර්ණ කුම්භං න කරොති ශබ්දං

ප්‍රහීන විද්‍යා ප්‍රකරොති ගර්වං

සම්පූර්ණ විද්‍යා න කරොති ගර්වම්

අඩු කළයෙහි දිය චංචල වේ. පිරුණු කළයෙහි දිය චංචල නොවේ. එමෙන් ම හීන විද්‍යා (දැනුමෙන් පරිපූර්ණ නොවූ) සහිත ඇතැම්හු බොහෝ ගර්වයෙන්, මානයෙන් ක්‍රියා කරති. නමුත්, නුවණැති පණ්ඩිතයා ගර්ව රහිතව, මාන රහිතව කටයුතු කරයි.

මේ ශ්ලෝකය මාතෘකා කොට ගත්තේ පූර්ණ දැනුමක් සහිත නුවණැති ඥානවන්ත පුද්ගලයා සහ අසම්පූර්ණ දැනුමක් සහිත අඥාන තැනැත්තා අතර පවත්නා වෙනස පිළිබදව පහදා දීමට යි. කිසි විටෙක හීන විද්‍යා සහිත අඥාන පුරුෂයා සමග සම නොවන පණ්ඩිතයා මානයෙන් ගර්වයෙන් උඩගු නොවේ. නිරන්තරයෙන් ම ඔහු හෝ ඇය වෙතින් නිහතමානී බව ප්‍රකට කෙරේ. නිහතමානි බව යන්න පාණ්ඩිත්‍යයේ ලක්ෂණයකි.

ප්‍රාචීනවාදී අධ්‍යයන සම්ප්‍රදායෙන් පෝෂණය ලත් පෙරදිග උගතුන්ගේ ශාස්ත්‍රීය මෙහෙවර විමර්ශනය කිරීමේදී ඔවුන් තුළ පැවැති ගර්ව රහිත නිහතමානී අධ්‍යයන ක්‍රමවේද හදුනාගැනීමට පිළිවන. නමුත් පසුකාලීනව බටහිර ඉගෙනුම් සම්ප්‍රදායන් වෙතින් පෝෂණය වූ මෙරට අධ්‍යාපනය ගැඹුරු දාර්ශනික අන්තර්ගතයක් සහිතව හෝ ආචාරධර්මීය පදනමක් මත ගොඩනැගී නොමැති බව හඳුනා ගැනීමට පිළිවන.  මෙම අධ්‍යාපන ක්‍රමය පුද්ගල දිවි පැවැත්ම සදහා උගන්වනවා වෙනුවට තරගකාරී ව විභාග ජය ගැනීම වෙනුවෙන් නිර්මාණය වී ඇත. මෙම පසුබිම දැනුම හා ඊට අවශ්‍ය සුදුසුකම් උපරිම අයුරින් ළඟා කර ගැනීමට සහාය වේ. නමුත් මෙම අධ්‍යාපන ක්‍රමය විසින් මානවීය ගුණ ධර්මවලින් පොහොසත් ගුණවත්, ශික්ෂාකාමී, නිහතමානී, දැහැමි, සත්පුරුෂ ධර්මතා වැනි ගුණාත්මක සංරචක වලින් බැහැර වූ හීන පෞරුෂයක් සහිත පුද්ගලයින් නිර්මාණය කරන්නේ ද යන්න විමසා බැලිය යුතු ය.

වර්තමාන අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිල්පායතනවල බොහෝ ගැටලුවලට හේතු වී ඇත්තේ උගත්කමින් හා ගුණවත්කමින් හීන වූ “නොපිරුණු කළ’’ වැනි අයගේ ක්‍රියාකාරකම් ය. ගුණවත්කමින් හා ශික්ෂණයෙන් තොර වූ අධ්‍යාපන ක්‍රමයකට මග විවර කරගනිමින් සිටින මෙරට සමාජය ගුණ නැණ දෙකෙන් සුපෝෂිත නව අධ්‍යාපන සම්ප්‍රදායක් වෙත යොමු වීම කාලීන අවශ්‍යතාවකි.  අප රටට අනන්‍ය නොවූ අධ්‍යපන සම්ප්‍රදායක් වෙතින් දැනුම පමණක් දරාගත් “නොපිරුණු කළ’’ වැනි පුද්ගලයින් සමාජගත වීමේ විපාක අප සැමට අත් විදීමට සිදුවනු ඇත.

-සංස්කාරක-

Related posts

Leave a Comment