web analytics
You are here
comman කාලීන 

නවක වදයට තිත තැබීමට නවකයින්ගෙන් පියවරක්…

විශ්වවිද්‍යාලය කියූ සැණින් එහි දොරටුව පා තබන නවක විද්‍යාර්ථීන්ට සිහියට නැගෙන්නේ, ‘නවක වදය’ යි. ස්වකීය ජීවිතයේ ආරම්භ කරන නවමු ගමන මග පිළිබද හැඩය සොයමින් පසුවන නවක විද්‍යාර්ථීන් මුහුණදෙන අමිහිරි අත්දැකීම් අතර ප්‍රධාන වන්නේ මේ නවක වදයයි. ආර්ථික අපහසුතා හා ජීවන දුක් ගැහැට ඉදිරිය තවදුරටත් දිරියෙන් ශක්තියෙන් අධ්‍යාපන කටයුතු කිරීමට පැමිණෙන විද්‍යාර්ථියාට මෙම නවක වදය ඉතා බලවත් මානසික පීඩාවකි.

එක් අතකින් නවක වදය ලක්කරන්නන් වන්නේ, නවක විද්‍යාර්ථීන් ලෙස අවුරුද්දක් විශ්වවිද්‍යාලයේ ගත කළ පිරිසයි. අවාසනාව වන්නේ ඔවුන්ට දෙවන වසරට ආ පසු පළමු වසරෙහි තමන් සිතූ පැතූ හැටි අමතක වීමයි. මෙම නවක වදය ඉදිරියේ නවක විද්‍යාර්ථියෙකුට ඇති වන ගැටලුව වන්නේ, ‘කිසි දිනෙක තමන් නොදුටු, වරදක් නොකළ ආධුනික පිරිසකට තමන් වගේම කාලයක් ගත කළ පිරිසක් කඨෝර වදනින් ආමන්ත්‍රණය කරන්නේ කෙසේද? ඔවුන් හැකි තරම් කායික මානසික අපහසුතාවලට පත් කිරීමෙන් සතුටු වන්නේ කෙසේද?’ පිළිබදවයි.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙකු ලෙස අසාධාරණ පීඩා ඉවසමින්, තම ස්වාධීනත්වයට හානි පමුණුවාගනිමින් හා ස්වාධීන චින්තනය නැති කරගැනීමෙන් අනාගතයේ නිදහස් අධ්‍යාපනය සුරැකිය නොහැකිය. නිදහස් අධ්‍යාපනය සැමගේ අයිතියකි. තමන් විසින් වසර දහතුනක් මුළුල්ලේ පාසල් අධ්‍යාපනය උසස් ලෙස සමත් වීමෙන් ලද දායාදය විශ්වවිද්‍යාල අධ්‍යාපනය යි. විශ්වයට හැරුණු ගමන් මග ‘නවක වදය’ වැනි නිශේධනීය තත්වයක් නිසා අහුරා ගත නොහැකිය. විශ්වවිද්‍යාල ජීවිතයේ වටිනාකම, එහි ගෙවන කාලයේ අගය හා තමන් සතු සමාජ වගකීම් කොටස දන්නා, ඕනෑම කෙනෙකු කිසිසේත් ‘නවක වදය’ අනුමත නොකරයි.

එසේම අධ්‍යාපනයේ අයිතිය සුරැකෙන්නේ තමන් වැනිම විද්‍යාර්ථියෙකුගේ අධ්‍යාපනය ඇති අයිතිය සුරක්ෂිත කළහොත් පමණි. නව මතවාද දැරීමට හැකි නිදහස් පරිසරයට විශ්වවිද්‍යාල භූමියේ සුරක්ෂිත කළ හොත් පමණි. නමුත් සියල්ල පසෙක ලා සිදුවන්නේ අනිකකි. නවක විද්‍යාර්ථීන් පැමිණි පළමු වසරේදීම නවක වදය මගින් ඔවුන්ගේ නිදහසේ සිතීමට ඇති අයිතිය ද්වේශ සහගත වචනයෙන් හා හිරිහැර වලින් විනාශ කර දැමීමට ජ්‍යෙෂ්ඨයෝ සමත් වෙති. මේ නිසා ඇතැම් නවක විද්‍යාර්ථීහු නැවුම් මතවාද පසෙක තබා මෙම පීඩාවලින් අත්මිදී සිටීමට දේශන අතපසු කර නිවෙස් හෝ නේවාසිකාර වලට වී සිටිති. තවත් අය විශ්වවිද්‍යාලය හැරයති. ඇතැම්හු ජීවිතය පවා අහිමි කර ගනිති.

මේ නිසා රටේ නිදහස් අධ්‍යාපනය සුරැකීමට පෙළගැසෙන්නැයි උපදෙස් දෙන ඇතැම් ජ්‍යෙෂ්ඨයින්ගේ කරදර හිරිහැර වලින් ස්වකීය අධ්‍යාපන නිදහස රැකගැනීමේ මානව අයිතිය වෙනුවෙන් නවක විද්‍යාර්ථීන්ට සිදු වී ඇති බව පෙනී යයි. විශ්වවිද්‍යාල නීති, ප්‍රතිපත්ති මගින් නවක වදය තහනම් කර තිබුණත් නවක විද්‍යාර්ථීන් මුහුණ දෙන මෙම පීඩනය බොහෝදුරට නතර කිරීමට හැකි වන්නේ නැත. මේ නිසා මෙම අසාධාරණ පීඩන ඉදිරියේ වර්තමානය වන විට නවක වදයට තිත තැබීමට නවක විද්‍යාර්ථීන් නැගී සිටීම දැකගත හැකියි. ආසන්නතම සිදුවීම නම් කැලණිය විශ්වවිද්‍යාලයේ නවක විද්‍යාර්ථීන් සදහා ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථීන් ලබාදෙන නොයෙක් පීඩන පිළිබද එක් විද්‍යාර්ථියෙකු විසින් පොලීසිය වෙත පැමිණිලි කිරීම යි.

මෙවැනි පියවර ගැනීම විශ්වවිද්‍යාල භූමියේ දී නවක විද්‍යාර්ථියන්ට ඇතැම් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇති කරන පීඩාවල වැට බැදීමට මතු ආදර්ශයක් වනු ඇත. විශ්වවිද්‍යාලයට නවක විද්‍යාර්ථියෙකු වශයෙන් මෙවැනි පියවරක් ගැනීම මගින් අනාගතයේ නවක විද්‍යාර්ථියෙකුගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබද පවතින අදුරු ආකල්ප, පසුබෑම් ඉවත් වන්නේ ය. නවක විද්‍යාර්ථීන් මුහුණ දෙන මෙම අසාධාරණ පීඩනවලට එරෙහිව නැගී සිටීමෙන් නිදහස් අධ්‍යාපනයේ අයිතිය නිදහසේ විදගැනීමට ලැබෙන්නේ මනා පිටිවහලකි. මෙය එක් විශ්වවිද්‍යාලයක නවක විද්‍යාර්ථියෙකුට පමණක් නොව සියලු විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් සදහා තම නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් හඩ අවදි කිරීමට තැබූ ධෛර්යය සම්පන්න පියවරක් වශයෙන් පෙන්වා දිය හැකිය. සමාජ අසාධාරණ ඉදිරියේ මානව අයිතින් වෙනුවෙන් නිශ්ශබ්දව බලා සිටීම වෙනුවෙන් ඒ වෙනුවෙන් අභීතව නැගී සිටීමට නවක විද්‍යාර්ථීන්ට ඇති ධෛර්ය ශක්තිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය වසා පැතිරී යන නවක වදය නම් මහා ඝන අදුර මකා දැමීමට හැකි දැවැන්ත ආලෝකයක් බව කිව යුතුය.

වාසුලදත්තා

 

Related posts

Leave a Comment