web analytics
comman තෙවැනි ඇස 

ඉදිරියෙන් සිට ඉක්මනින් ගිය මිනිසා

ශ්‍රීපාලි මණ්ඩපයෙ ප්‍රවේශ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වීමට ගියෙමි. මා ශාලාවෙන් පිටත රැඳී සිටිද්දී ත්‍රීරෝද රථයකින් අමුතු ම මිනිසෙක් බැස ගත්තේ ය. ඔහු පුංචි මිනිසෙකි. ඔහුටත් වඩා විශාල කමිසයක් ඇඳගෙන බෙල්ල ද හිර වන තරමට බොත්තම් පැළඳ සිටියේ ය. ත්‍රීරෝද රථයෙන් බැස දත් පෙන්නා සිනාසුණ ඔහු සැහැල්ලුවෙන් ශාලාවට ඇතුළු වූයේය. “මේ මොන ජාතියෙ හාදයෙක් ද?” මම කල්පනා කළෙමි. මේ අපූර්ව මිනිසා මා ඉදිරිපිට සම්මුඛ සාකච්ඡා මණ්ඩපයේ ද ඉඳගෙන නිර්ව්‍යාජ ලෙස සිනාසුණේ ය. ඒ මා පසන් කොඩිකාරයන් සම්මුඛ වූ පළමු නිමේය යි.
විශ්ව සාහිත්‍යයේ සිංහල නෞකාවක් වූ පසන්ගේ පරිවර්තන කාර්යය ගැන අදහස් පළ කිරීමට තරම් අපි ප්‍රාමාණිකයෝ නො වෙමු. පරිවර්තකයෙකු ලෙස ප්‍රකට වීම නිසා ම පසන් කොඩිකාර නම් කවියා බොහෝ දෙනෙකුට මඟ හැරිණි. පසන් විග්‍රහ කිරීමට ඔහුගේ පළමු සහ අවසාන කාව්‍ය සංග්‍රහය වන “අනිත්‍යය” පැදි වියමන් හි එන කවි පද කිහිපයක් උචිත යැයි සිතමි.
ලෝකයේ කතර මත
මිරිඟුවකි විනාශය
කාලයේ නිරන්තර
හිස් තැනකි අතීතය
පිපාසිත ජීවිතේ
තොල් අතර ගැටෙනමුත්
කිසිත් ඒ තුළ නොමැත
හිස් ය මරණයෙ බඳුන
අතීතය හිස් ය. මරණයත් හිස් ය. නමුත් ඔහු වර්තමානය ප්‍රශ්න නො කරයි. අතීතයේ බැඳීම්වලින් සහ අනාගතයේ බැඳීම්වලින් වියුක්ත ව ගෙවන වර්තමාන ජීවිතයක් පිළිබඳ අදහසක් මතු වේ.

මේ පසන් ගෙවූ ජීවිතය ම නොවේ ද? වර්තමානය පමණක් අතගාමින් අතීත, අනාගත බැඳීම් ප්‍රහීන කරමින් ජීවත් වීම ඔබට-මට කළ හැක්කක් ද යන වග අප ප්‍රශ්න කර ගත යුතු ය.
“අනිත්‍යය” නමින් කවි ලියන පසන්ගේ ජීවිතයේ අනිත්‍යය පිළිබඳ ප්‍රායෝගික භාවිතාව හඳුනා ගැනීමට නම් ඔහු සිය සුරූපී රුසියානු පෙම්වතිය පිළිබඳ දක්වන ආකල්පයත් ඇය කෙරෙහි ක්‍රියාත්මක වන ආකාරයත් හඳුනා ගැනීම ප්‍රමාණවත් ය. ජීවිතය අහිමි වන්නට නියමිත වූවක් බව දැන උන් පසන් මෙසේ ලීවේ ය.
ජීවිතය සඟලක්ය මිරිවැඬි
කාලයේ මඟ මත ගෙවී යන
කබල් වී ගැලවිලා යනු ඇත.
ලෝකයේ පාවලින් ඉවතට
පසන් තේරුම් ගත් සත්‍යය තේරුම් නො ගත් අප “ඔහු බොහීමියානුවෙකි” යැයි නාමකරණය කරමින් පසන් විචාරය කිරීම අපට උචිත ද යන්න මේ සංක්ෂිප්ත සටහන ලියැවෙන මොහොතෙහි පවා මා සිත් හි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරයි. හේතුව පසන් කළ ‘අත්හැරීම’ කරන්නට අප තවමත් අසමත් වී සිටීම ය. පෘථග්ජන සමාජයෙන් දුරස්ථ වන තරමට පසන්ගේ ‘අත්හැරීම’ බලවත් විය. සැබැවින් ම පසන් යනු වර්තමානයේ නොව, අනාගතයේ ජීවත් වන මිනිසෙකි.
ශිෂ්ටාචාරය විසින් සභ්‍යත්වයට පමුණුවන ලද සමාජයක් පිළිබඳ ව අප උන්මාදයෙන් කතා කරද්දී පසන් ඒ සමඟ ගොඩනැංවුණු සීමාවන් නිරුත්සාහික ව ම අතික්‍රමණය කළේ ය. පසන්ගේ වියෝවෙන් වසරක් ගිය තැන් හි ද අපට ප්‍රකාශ කරන්නට ඇත්තේ වර්තමානයේ ජීවත් වන උන් මළවුන් වෙද්දී වර්තමානයේ මිය ගිය පසන් අනාගතයේ ද ජීවත් වන වග ම ය.

– චලක ප්‍රමුදිත ලුණුවිලගේ –

 

Related posts

Leave a Comment