web analytics
comman සංවාද 

කැලණිය විශ්වවිද්‍යාලයට නව පරිගණක හා තාක්ෂණ පීඨයක්

කැලණිය විශ්වවිද්‍යලය නව පරිගණක අධ්‍යයන පීඨයක් ආරම්භ කරමින් පරිගණක අධ්‍යාපනයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට මේවන විට සමත්ව සිටී. මෙම සුවිශේෂී කටයුත්ත පිළිබඳව සාකච්ඡ කිරීමට එහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් සිටින විද්‍යා පීඨයේ කර්මාන්ත හා පරිපාලන අධ්‍යයන අංශයේ ආචාර්ය ගාමිණී විජයරත්න මහතාව අප සම්බන්ධ කර ගත්තා.

පරිගණක හා තාක්ෂණ පීඨයක් අලූතින් පිහිටුවන්නේ ඇයි?

මෙය පරිගණක හා තාක්ෂණ පීඨය ලෙසයි අප හඳුන්වන්නේ. මෙය පිහිටුවීමට ප‍රධාන අරමුණු කිහිපයක් බලපෑවා’ ඉන් පළමුවැන්න වන්නේ 2015 වසරේ උසස් පෙළ විභාගය සඳහා තාක්ෂණ විෂය ධාරාව හැදෑරූ සිසුන් වෙනුවෙන් අවශ්‍ය පාඨමාලාවන් ක්‍රියාත්මක කිරීමයි. දෙවැන්න වන්නේ මෙතෙක් විද්‍යා පීඨයේ සංඛ්‍යානය හා පරිගණක අධයන අංශයත් කර්මාන්ත හා පරිපාලන අධ්‍යයන අංශයත් විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපනය පිළිබඳ සොයා බලා සිදුකළ කටයුතු විධිමත්ව හා පුළුල් අයුරින් ජනතාවට ද සේවයක් සැලසෙන අයුරින් කි‍්‍රයාත්මක කිරීමයි. තෙවැනි අරමුණ වන්නේ මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජීය පීඨයේ විද්‍යාර්ථීන්ගේ රැකියා ලබා ගැනීමේ දී ගැටලුවක් ව පවතින පරිගණක දැනුම ඔවුන්ට සමීප කිරීමයි. මෙම අරමුණු වලට අමතරව ජාතික තලයේ විවිධ ක්ෂේත්‍ර වෙනුවෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම සහිත විශේෂඥයන් බිහි කිරීම ද මෙහි පවතින ප්‍රධාන අරමුණක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්’

මෙම පරිගණක හා තාක්ෂණ පීඨයේ තිබෙන විශේෂත්වය මොකක්ද ?

දැනටමත්  කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාලවල පරිගණක අධ්‍යාපනය සඳහාම වූ පීඨ ක්‍රියාත්මක වනවා. නමුත් අප විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත මෙම පීඨය එම පීඨයන්ට වඩා විශේෂතා රාශියකින් සමන්විතයි. එහිදී මැදිරිකරණයට ලක්වූ විෂයන් ඒකාබද්ධ කිරීම (Cross faculty teaching) ක්‍රමය පළමු වරට ශී‍ ලංකාවට මෙම පීඨය මගින් හඳුන්වා දෙනවා. එපමණක් නොවෙයි Software Engineering, Data Science and Engineering, Human Centered Computing, Applied Computing, Computer Gaming වැනි ප්‍රායෝගික තලයේ විෂයයන් සඳහා ලංකාවේ ප්‍රථම වරට අධ්‍යයන අංශ බිහිවන්නේ මෙම පීඨයෙන්. එමගින් රැකියා ලැබෙන තුරු බලා සිටින විද්‍යාර්ථීන් වෙනුවට රැකියා උත්පාදනය කරගැනීමේ හැකියාව සහිත විද්‍යාර්ථීන් බිහි කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා. අධ්‍යාපනයෙන් පමණක් නෙවෙයි. පරිපාලනමය වශයෙන් පවා මෙම පීඨය සුවිශේෂී පීඨයක් ඒ කියන්නේ මෙම පීඨයේ හුදු ජ්‍යෙෂ්ඨත්වයට පමණක් නොව දක්ෂතාවයට අනුව කටයුතු සිදුවන පීඨයක්. එපමණක් නොවෙයි මෙම පීඨයේ කටයුතු කරන ආචාර්යවරුන් වෙනුවෙන් පර්යේෂණ සංස්කෘතියක් නිර්මාණය කරනවා එමගින් ඔවුන්ට අමතර ආදායමක් උපයාගැනීමට හැකියාව ලැබීම මත මානව සම්පත මෙම පීඨය තුළ රඳවා ගැනීමේ අවස්ථාවක් ද මෙහි නිර්මාණය කරනවා.

මෙම පීඨය පිහිටුවීම වෙනුවෙන් සහය ලබා දෙන්නේ කවුද?

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා මෙම පීඨය ආරම්භ කිරීමට විශාල පරිපාලනමය සහායක් ලබාදුන්නා. ඒ වගේම මෙය ආරම්භ කිරීමට විද්‍යා පීඨයේ පීඨාධිපති කපිල සෙනෙවිරත්න මහතා හා විශ්වවිද්‍යාලයේ සියලුම පීඨාධිපතිවරුන් විශාල සහයක් ලබා දුන්නා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ සියලූම කණ්ඩායම් මෙම පීඨය වෙනුවෙන් තම සහයෝගය පල කලා. මෙය කලකට පසුව සමස්ත විශ්වවිද්‍යාලයම එකතු කළ ව්‍යාපෘතියක් කීව්වොත් මා නිවැරදියි.

මෙම පීඨය අධ්‍යයන කටයුතු සදහා විද්‍යාර්ථීන්ට විවර වන්නේ කෙසේද?

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විශේෂ ප්‍රවේශ යටතේ මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතයි. එහිදී 2015 වසරේ උසස් පෙළ විභාගය වෙනුවෙන් තාක්ෂණ විෂය ධාරාව යටතේ තොරතුරු තාක්ෂණය විෂය හැදෑරූ සිසුන්ට හා විද්‍යා විෂය ධාරාව යටතේ භෞතික විද්‍යා විෂයයන් හැදෑරූ සිසුන්ට මෙම පීඨය වෙත ඉල්ලුම් කළ හැකියි. එහිදී පරිගණක විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය වෙනුවෙන් සිසුන් 50 ක්ද, පරිගණක තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලා 0 2ක් වූ පරිගණක ජාලගත කිරීම හා පරිගණක ඉංජිනේරු තාක්ෂණය වෙනුවෙන් 75 බැගින් වූ සිසුන් 150 ක්ද බඳවා ගැනීමට නියමිතයි. තවද මානව ශාස්ත්‍ර පීඨය මගින් හඳුන්වා දෙන Digital Design හා ක්‍රිස්තියාන් අධ්‍යයනය හා පරිගණක තාක්ෂණය යන විෂයන් වෙනුවෙන් ද සිසුන් බඳවා ගැනීමට නියමිතයි.

මේ වන විට පරිගණක හා තාක්ෂණ පීඨය පිහිටුවීම වෙනුවෙන් සිදුවන වැඩ කටයුතු මොනවාද?

මේවන විට මෙම පීඨය නීත්‍යානුකූලව ස්ථාපනය කර අවසන්. 2016 වසරේ දෙසැම්බර් 31 වනදා සියලුම අනුමැතිය සහිත රජයේ ගැසට් පත්‍රය නිකුත් කරනවා. නමුත් තවමත් මෙම පීඨය වෙනුවෙන් පීඨාධිපතිතුමෙක් හෝ අංශාධිපතිවරුන් පත් කර නැහැ. ඉදිරියේ දී එම තනතුරුවලට අදාළ පත්වීම් සිදු වේවි.

මෙම පීඨය ඉදි කරන්නේ කොහේද? ඊට කොපමණ මුදලක් වැය වනවාද?

නිශ්චිත ස්ථානයක් හෝ වැයවන මුදල ගැන හිතන්න කලින් මෙය ස්ථාපනය කරන්නයි අපට උපදෙස් ලැබුණේ. ඉදිකරන ස්ථානය හා වැයවන මුදල පිළිබඳව සම්පූර්ණ වගකීම උපකුලපතිතුමා විසින් භාර ගනු ලැබුවා. ඔහු එම වගකීමෙන් අපව නිදහස් කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යංශය, මෙයට තම පූර්ණ සහය ලබා දීමට එක`ග වී තිබෙනවා. නමුත් මෙහි විෂය නිර්දේශ අප මේවන විට සකසා අවසන් එම විෂය නිර්දේශ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට පමණයි තියෙන්නේ. තව මාස කිහිපයකින් පමණ ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී උත්සවයක් පවත්වා මෙම පණිවිඩය නිල වශයෙන් රටට දැනුම් දෙන්න උපකුලපතිතුමා සූදානමින් සිටිනවා.

වෙනත් විශ්වවිද්‍යාලවල පරිගණක පීඨයන් හි තර`ගකාරීත්වයට මුහුණ දීමට මෙම නව පරිගණක පීඨය සූදානම්ද?

අනෙක් විශ්වවිද්‍යාලවල පවතින පරිගණක පීඨයන්හි පාඨමාලා පරිගණක අපනයන වෙළඳපල ඉලක්ක කරගත් ඒවා. එමගින් මෙරටට මුදල් හිමිවුවත් සියලු නිෂ්පාදනයන් විදේශ රාජ්‍ය වෙනුවෙන් නිපදවන නිසාවෙන් මෙරට ජන සමාජයට ඉන් විශාල ප්‍රයෝජනයක් නැහැ. නමුත් අප විශ්වවිද්‍යාලයේ ඉදිවන මෙම නව පරිගණක පීඨය මගින් පරිගණක තාක්ෂණය ලංකාවේ විවිධ ක්ෂේත්‍රවලට බද්ධ කිරීම මගින් අදාළ දැනුම සම්පාදනය කිරීමට අමතරව ඊට අවශ්‍යය විශේෂඥයින් පවා නිර්මාණය කරනවා. මෙමගින් සිදුවන්නේ ජාතික සේවයක්. එම නිසා මෙම පීඨය ආරම්භ කර වැඩි කාලයක් ගත වීමට පෙර මෙරට ප්‍රධානතම පරිගණක පීඨය බවට මෙය පත්වීම වැළකිය නොහැකි දෙයක් ලෙස දක්වන්න පුළුවන්.

 

සංවාද සටහන

අයේශ් මධුශංඛ විජයසිංහ

 

Related posts

Leave a Comment