web analytics
comman කතුවැකිය 

භූමිකාව

යම් පුද්ගලයෙක් විවිධ අවස්ථාවලට අනුකූලව සැකසෙන ආකාරය භූමිකාව වශයෙන් හැදින්වේ. සමාජය යනු, භූමිකා රාශියක එකතුවකි. සමාජ අන්තර් සම්බන්ධතා ගොඩනැගීමෙහි ලා සමාජයක වෙසෙන ඒ ඒ පාර්ශවකරුවන්ගේ භූමිකාව මහෝපකාරී වේ. යම් සමාජ ආයතනයක් ස්වකීය භූමිකාව නිසි පරිදි ඉටු නො කිරීමෙන් සමාජ සමබරතාව බිඳවැටීමට පිළිවන. එහෙයින් අප නියෝජනය කරන සමාජ ස්ථර අනුව අපි අපේ භූමිකාව නිශ්චිතව සහ නිවැරදිව හඳුනා ගෙන ක්‍රියා කළ යුතු වෙමු.

බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද වැනි සූත්‍ර දේශනාවන්හි සමාජයේ වෙසෙන ඒ ඒ පුද්ගලයාගේ භූමිකාවන්හි ස්වභාවය පිළිබඳව විවරණය කළහ. එමෙන් ම චක්‍රවර්ති සීහනාද වැනි සූත්‍ර දේශනාවන්හි රටේ පාලකයන්ගේ භූමිකාව පිළිබඳව අවධාරණය කළහ. ඒ සමාජ සංවර්ධනයෙහි ලා හැම අයෙක් ම සිය භූමිකාව මත පිහිටා කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයිනි.

නමුත් නූතන ලාංකිකයා ස්වකීය භූමිකාව නිශ්චිතව හඳුනාගත් බවක් පෙනෙන්නට නො තිබේ. ආගමික සංස්ථාවෙන් සිදු කෙරෙන කාර්යභාරය පුද්ගලයාගේ ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කිරීමෙහි ලා ප්‍රමාණවත් දායකත්වයක් නො දක්වයි.

දේශපාලකයාගේ භූමිකාව පිළිබඳව ද සෑහීමකට පත් විය නො හැකි ය. ඔවුන් රට හමුවේ පවතින කේන්ද්‍රීය ගැටලු හඳුනා ගෙන ඒවා විසඳීමට සැලසුම් සහගත ප්‍රවේශයක් අනුගමනය කරනවා විනා සිය දේශපාලන බලය පමණක් තහවුරු කර ගැනීමට ක්‍රියා කරමින් සිටියි. පක්ෂ, පාට අනුව බෙදී සිය ආර්ථික බලය සහ දේශපාලන බලය තහවුරු කර ගැනීම පිණිස එකිනෙකා පරයා නැගී සිටීමට උත්සහ කරති. මෙවැනි පසුබිමක ඉතා නො දියුණු දේශපාලනයක් නිර්මාණය වී ඇත. එහෙයින් දේශපාලකයාගේ භූමිකාව පිළිබඳව යළි යළිත් මෙනෙහි කිරීම මෙරට ප්‍රජාවේ වගකීමකි.

රටේ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වන විද්වතුන්ගේ භූමිකාව ද මෙහි දී විමසා බැලිය යුතු ය. රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් මගින්  දේශීය සහ ගෝලීය අභියෝග ජය ගත හැකි ප්‍රඥාවන්ත ශික්ෂාකාමී පුරවැසියෙක් නිර්මාණය කර ගැනීමට ප්‍රතිපත්ති සම්පාදක විද්වතුන් අසමත් වී ඇත. වසර දහසයක අධ්‍යාපනයෙන් පුරවැසියාට ලැබෙනුයේ කලකිරීම, අපේක්ෂාභංගත්වය හා අසහනකාරී මානසික ස්වභාවයක් නම් එකී අධ්‍යාපනය පිළිබඳව යළි යළිත් විමසා බැලිය යුතු ය.

අනගාරික ධර්මපාලතුමා පැවසුවාක් මෙන් මෙරට අධ්‍යාපනයෙන් රටට අවශ්‍ය පාලකයින් නිර්මාණය කර ගැනීමට හැකි විය යුතු ය. නමුත් මෙරට නූතන අධ්‍යාපනය පුරවැසියාට මග නොමග පහදා දීමට අසමත් වී ඇත. එහෙයින් ප්‍රතිපත්ති සම්පාදක උගත් විද්වත් ප්‍රජාවේ භූමිකාව මෙරට අනාගතය හමුවේ ගැටලු රාශියක් ඉතිරි කර ඇත.

රටක ප්‍රජාවේ භූමිකාව වන්නේ කුමක් ද? දෙන දෙයක් කා, බී වෙන දෙයක් බලා ගෙන කායික මානසික වහලුන් සේ කල් ගෙවීමද? නැති නම් ප්‍රේමය, බලාපොරොත්තු සහ විශ්වාසය තුළින් ශික්ෂාකාමී සබුද්ධික සමාජයක් ගොඩනැගීමට දායක වීමද? යමෙක් ස්වකීය භූමිකාව වටහාගෙන ක්‍රියාකිරීමෙන් මානසික සහනය සහ තෘප්තිය වඩවා ගැනීමට පිළිවෙන. පුද්ගලයා රසවත් එහෙත් නිෂ්ඵල ක්‍රියාවන්හි යෙදීමෙන් පංච ඉන්ද්‍රියන් පමණක් පිනවීමට යෑමෙන් යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමට ඔහුට හෝ ඇයට ඇති අවකාශය අහුරා ගනියි.

ලොව දියුණු වූ සෑම රටක් ම පුරවැසියා ස්වකීය යුතුකම සහ වගකීම් සහිත සමාජ භූමිකාව නිසි පරිදි හඳුනා ගෙන ක්‍රියාකර ඇති බව පෙනේ. නමුත් අප රට දියුණු වීමට නම් පුරවැසියා තුළ විශාල ආකල්පමය පරිවර්තනයක් ඇති කළ යුතු ය. අපට සංවර්ධන ළඟා කර ගැනීමට හැකියාව උදා වන්නේ සරල පැවතුම් ඇති අල්පේච්ඡ සමාජයක් ගොඩනැගීමෙන් පමණකි.

මෙහිදී අපගේ භූමිකාව හා බැදී මෙහෙවර පිළිබඳ නිශ්චිතව වටහා ගැනීම අවශ්‍ය වේ. සිය භූමිකාව හෝ මෙහෙවර පිළිබඳ සිතන්න සූදානම් නැති සෑම අයෙකු සදහා ම මහාචාර්ය දර්ශන රත්නායකයන්ගේ පහත නිර්මාණාංගය තිළිණ කරමින් මේ ලියවිල්ල නිමා කරමි.

‘‘මිරිස් කරලක් වෙන්න

සැරසෙන්න

ඇඹරිලා කුඩු වෙන්න

කුරුදු පැලයක් වෙන්න

සැරසෙන්න

තැලි තැලී පිට පොත්ත

ගැලවෙන්න

කරපිංචා ගසක් වෙන්න

සැරසෙන්න

දිවා රෑ අතුරිකිලි

දන් දෙන්න

එහෙත්

මිනිසෙක් වෙන්න

සැරසෙන්න

නොසිතන ම මෙහෙයකට කැප වෙන්න

නොපතන ම මොහොතකට මිය යන්න…’’

-සංස්කාරක-

Related posts

Leave a Comment