web analytics
You are here
comman සංවාද 

ප‍්‍රශ්න පත‍්‍රය සාර්ථකව ලිවිය යුත්තේ කෙසේ ද?

මේ දිනවල කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න බහුතර විද්‍යාර්ථින්ගෙන් ඔබ අකමැතිම වචනය කුමක්ද යැයි ප‍්‍රශ්නයක් ඇසුවහොත් ඊට නිතැතින් ලැබෙන පිළිතුර ලෙස ” Exam” යන්න පෙන්වා දෙන්න පුළුවන්. විභාගයට අකමැති වුවත් එයට නොවරදවාම සහභාගී විය යුතුයි. අප විභාගයට ඇති අකැමැත්ත කැමැත්ත බවට පත්කරගෙන විභාගයේ දී පිළිතුරු ලිවීමට පෙර ‘ප්‍රශ්නය’ තේරුම් ගන්නා ආකාරය පිළිබඳ පසුගිය දා ඔබට පෙන්වා දුන්නා. කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ඒ. ජී අමරසිංහ මහතා සමග සිදු කළ එම සංවාදයේ දෙවන කොටස මෙසේ දක්වමු.

ප‍්‍රශ්න පත‍්‍රය සාර්ථකව ලිවිය යුත්තේ කෙසේ ද?

ප‍්‍රශ්න පත‍්‍රය මගින් අසන ප‍්‍රශ්න වෙනුවෙනු පිළිතුරු ගොණු කිරීමේදී පවා විද්‍යාර්ථීන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. එහිදී පිලිතුර උත්තර පත‍්‍ර පරීක්ෂකවරයාට අවබෝධ වන ආකාරයෙන් ලිවිය යුතුයි. එපමණක් නොවෙයි අසන දෙයට පමණක් පිළිතුරු ලිවිය යුතුයි. උදාහරනයක් ලෙස ගතහොත් ශී‍්‍ර ලංකාවේ නිරිතදිග වර්ෂාපතනය ලැබෙන කාලය පිළිබඳව විග‍්‍රහයක් කරන්න යනුවෙන් ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළහොත් පිලිතුරු ලිවිය යුත්තේ නිරිතදිග වර්ෂාපනය ලැබෙන කාලය ගැන පමණකි. නමුත් මෙහිදී වර්ෂාව, ජලය, සුළ`ග ආදී වූ වර්ෂාවට සමිබන්ධ සියල්ල ලිවීම අනවශ්‍ය වන අතර එය හුදෙක් ප‍්‍රශ්නයට පිටින් පිලිතුරු සැපයීමක් ලෙස සඳහන් කරන්න පුලූවන්. එමනිසා අසන දෙයට පමණක් පිළිතුරු සැපයීමට විද්‍යාර්ථීන් වගබලා ගතයුතුයි. ඒ වගේම පිළිතුරු ලිවීමේදී මූලික ආකෘතියක් මත පදනම්ව පිළිතුරු සැපයීම සිදු කළ යුතුයි. එහිදී එම ආකෘතිය කොටස් තුනෙන් සමන්විත වන අතර ඒ හැඳින්වීම, අන්තර්ගතය නැතිනම් බඳ කොටස හා නිගමනයයි. හැඳින්වීම මගින් තමන් පිළිතුරින් ලිවීමට අදහස් කරන දෙය පිළිබඳව දැනුම්වත් කිරීම සිදු කළ යුතුයි. අන්තර්ගතය මගින් පිළිතුර විවිධ කෝණයන්ගෙන් උදාහරණ ගෙන පෝෂණය කළ යුතුයි. එහිදී පිළිතුර කොටස් වශයෙන් ලිවිය යුතුයි උදාහරණ ලෙස ‘මෙයට පිළිතුරු සැපයීම ආකාර දෙකකින් සිදු කළ හැකිය යනුවෙන් සඳහන් කරනවානම් එම කොටස් ද්විත්වය වෙන් වෙන් වශයෙන් පැහැදිලි කළ හැකිය. එලෙස සංවිධානාත්මකව පිළිතුරු සැපයීමේදී නොමග යාමක් සිදු නොවන අතර කාල කළමණාකරණය පවා නිසි ලෙස සිදු කරගත හැකිය. මෙ උත්තර පත‍්‍ර පරීක්ෂකයාට පවා තම කාර්ය පහසු කරවන්නක් බවට පෙන්වා දෙන්න පුළුවන්.

අධ්‍යයන නිවාඩුව (Study Leave) විභාගයට සුදානම් වීමට ප්‍රමාණවත් ද?

අධ්‍යයන නිවාඩුව ලබා දෙන්නේ විභාගයට සූදානම් වීමට නොවෙයි. මාස හයක් පුරා වෙහෙස වීම වෙනුවෙන් විද්‍යාර්ථියාට විභාගයට පෙර යම් නිදහසක් ලබා දීමටයි මෙය ලබා දෙන්නේ. මෙම කාලය තුළ තව තවත් අධ්‍යයන කටයුතු වෙනුවෙන් වෙහෙසීම සිදු නොකළ යුතු දෙයක් වුවත් විද්‍යාර්ථීන් සිදු කරන්නේ ඒ දෙයමයි. විභාගයට සූදානම් විය යුත්තේ අධ්‍යයන නිවාඩුවේ දී නොව අධ්‍යයන කටයුතු ආරම්භ කළ දිනයේ සිටම යි. එහිදී විෂයට අදාළ විෂය නිර්දේශය ලබා ගෙන ඊට අවශ්‍ය ලෙස තොරතුරු පුස්තකාලය හා අන්තර්ජාලය ආශ්‍රයෙන් ලබා ගෙන විභාගයට සූදානම් විය යුතුයි. එම කටයුතු අධ්‍යයන නිවාඩුව තුළ සිදු කිරීම මගින් විභාගයට අවශ්‍ය කරන මානසික නිදහස භුක්තිවිඳීමට නොහැකි වෙනවා.

විභාගය ආසන්නයේ දී යම් යම් මානසික අර්බුද ඇති වීම සුලබ කරුණක්. මෙය වළක්වා ගන්නේ කෙසේ ද?

විභාගය ආසන්නයේදී ආතතිය, පීඩනය, විශ්වාසය බිඳවැටීම් ලෙඩ රෝග වලට ගොදුරු වීම් වැනි තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. කල් ඇතිව විභාගයට සූදානම් විය යුත්තේ මෙවන් තත්ත්වයන් සඳහා මුහුණ දීමටයි. එලෙස කල්වේලා ඇතිව සූදානම් වූ අයට මෙවන් තත්ත්වයන් ඇති වුවත් ගැටලුවක් වන්නේ නැහැ. නිසි වේලාවට ආහාර ගැනීම, ප‍්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම හා ප‍්‍රමාණවත් නින්දක් ලබා ගැනීම මගින් මෙවැනි මානසික තත්ත්වයන් අවම කර ගන්න පුළුවන්. එපමණක් නොවෙයි තමන්ට යම් දෙයක් මඟහැරුණේ නම් ඒ පිළිබඳ අවධානය යොමු නොකර තමන්ට පුළුවන් දේ උපරිමයෙන් කිරීමට වගබලා ගත යුතුයි. තමන් සතු දෙයින් සෑහීමකට පත් වන්නේ නම් එවන් වූ මානසික බිඳවැටීම් අවම කර ගත හැකියි.

විභාගය පැවැත්වෙන දිනය සැලසුම් කරගත යුත්තේ කෙසේ ද?

ප‍්‍රථමයෙන්ම කල්වේලා ඇතිව විභාගය පැවැත්වෙන ශාලාව වෙත ල`ගාවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ගත යුතුයි. ඒ කියන්නේ 8.30 ට විභාගය පැවැත්වෙනවා නම් 8. 15 වන විට විභාග ශාලාව වෙත ල`ගා විය යුතුයි. වෙත් වැඩ කටයුතු එදිනට යොදා ගැනීම සිදු නොකළ යුතු අතර සම්පූර්ණ අවධානය විභාගයට පමණක්ම ලබා දිය යුතුයි. එහිදී ඊට අවශ්‍ය උපකරණ වූ පෑන්, පැන්සල්, මකන, අඩිරූල්, විභාග ප‍්‍රවේශපත‍්‍රය හා හැඳුනුම්පත විභාගයට පෙනී සිටින විට අනිවාර්යයෙන් රැගෙන යා යුතුයි. තවද විභාග අක‍්‍රමිකතා සිදු නොකරීමට සියලු දෙනා වල බලා ගත යුතුයි. ප‍්‍රශ්න පත‍්‍රය ලැබුන විට ප5ශ්න ගණනට අනුව කාලය සැලසුම් කර ගත යුතුයි. එහිදී පැය තුනක පත්‍රයක් ලැබුණේ නම් පිළිතුරු ලිවීමට ඇත්තේ පැය 02.45 ක කාලයක් පමණි. ඉතිරි විනාඩි කිහිපය ප‍්‍රශ්න තොරා ගැනීමට පිළිතුරු පත‍්‍ර ගැට ගැසීමට හා පිළිතුරු නැවත වරක් කියවා බැලීමට වෙන් කළ යුතුයි.

 පිළිතුරු සැපයීමේ දී ප‍්‍රශ්න තෝරා ගත යුත්තේ කෙසේ ද?

ප‍්‍රශ්න පත‍්‍රය ලැබුණු පසු සෑම ප‍්‍රශ්නයක්ම හොඳින් කියවිය යුතුයි. එහිදී තමන්ට හොඳින් ම පිළිතුරු ලිවිය හැකි ප‍්‍රශ්න තෝරා සළකුණු කරගත යුතුයි. එසේ ප‍්‍රශ්න තෝරා ගැනීමෙන් පසු පිළිතුරු ලිවීම ආරම්භ කළ හැකියි. මෙහිදී නිශ්චිතවම තමන්ට පිළිතුරු ලිවිය හැකි ප‍්‍රශ්න පමණක් ම තෝරා ගත යුතුයි. පිළිතුරු ලියා අතරමැද කපා දැමීමට සිදුවන නොවන ලෙස ප‍්‍රශ්න තොරා ගත යුතුයි. අතහැරිය යුතු ප්‍රශ්න අනිවාර්යයෙන් අතහැරිය යුතුයි. වැඩියෙන් හෝ අඩුවෙන් පිළිතුරු නොලියා සඳහන් කළ ප‍්‍රමාණයටම පිළිතුරු ලිවීමට උත්සාහ කළ යුතුයි.

 

සංවාද සටහන

අයේශ් මධුශංඛ

Related posts

Leave a Comment