web analytics
NEWS 

ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ වාර්ෂික මහසභා රැස්වීම

කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ වාර්ෂික මහසභා රැස්වීම උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ අනුශාසක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යාය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ හා සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නායක ස්වාමින්ද්‍රයන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පසුගිය දා (අගෝස්තු 21) කඩවත ඉන්ද්‍රා හෝටලයේ දී පැවැත්විණ.

වර්ෂ 1986 ඔක්තෝම්බර් මස ආරම්භ කරන ලද ආදි විද්‍යාර්ථී සංසදය 2016 වසරේදී තම සිව්වන දශකයට පා තබමින් තම විශ්වවිද්‍යාලය වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට සැදී පැහැදී සිටී. විශ්‍රාමික ආචාර්යභවතුන්ගේ සේවා ඇගයීම, අධ්‍යයන කටයුතු වලදී දක්ෂතා දැක්වූ විද්‍යාර්ථීන් වෙත ස්වර්ණ මුද්‍රිකා සහ ශිෂ්‍යත්ව ප්‍රදානය ,මුදල් ආධාර අවශ්‍ය වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත මාසිකව ශිෂ්‍යත්ව ප්‍රදානය, විශ්වවිද්‍යාලය වෙනුවෙන් කැපකිරීම් කරමින් සිට අප අතරින් වෙන්ව ගිය ගිහි පැවිදි ආචාර්ය මහාචාර්යවරුන් හා ආදි විද්‍යාර්ථීන් ස්මරණය කරමින් වසරක් පාසා දානමය පිංකම් සිදු කිරීම ආදිය විද්‍යාර්ථීන්ගේ සංසදය සිදුකරනු ලබයි. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ උන්නතිය හා ඔවුන් වෙනුවෙන් කැප කිරීම් සිදුකර විශ්‍රාම ගිය ආචාර්ය මහාචාර්යවරුන්ට උපහාර පිදීම සිදුකිරීම සිරිත් පරිදි සිදුකරන ආදි විද්‍යාර්ථී සංසදය මෙවරද මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, විද්‍යාජෝති මහාචාර්ය ඩබ්.බී සිරිපාල මහතා, මහාචාර්ය කේ.ඒ.එස් පතිරත්න මහතා, මහාචාර්ය ඩී.එම් සිරිසේන මහතා, මහාචාර්ය ගාමිණී දෑළ බණ්ඩාර මහතා, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා, මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ මහත්මිය, මහාචාර්ය ඩබ්.පී.ඉන්ද්‍රාණී මෙනවිය, මහාචාර්ය අජිතා තෙන්නකොන් මහත්මිය, මහාචාර්ය කුලසේන විදානගමගේ මහතා යන ආචාර්ය මහාචාර්යවරුන් වෙත උපහාර සම්මාන පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ විධායක කාරක සභාව ඇතුළු ආදි විද්‍යාර්ථීන් රැසක් සහභාගි වූහ.

 

Related posts

Leave a Comment