web analytics
You are here
comman NEWS 

බැම්ම දෙදරයිද ?

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මධ්‍යම පුවත්පත ලෙස “බැම්ම” ප්‍රකාශයට පත්වීම සම්බන්ධයෙන් සතුටු වෙමි. ඒ සඳහා මුලින්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස මම දැනට පවතින තත්ත්වය පිළිබඳ නොවළහා අදහස් දැක්වූයෙමි. පුවත්පතේ පිටු අංක 13 සිට 15 දක්වා වන මාගේ ලිපිය තුළ මා දක්වන ලද අදහස් පුවත්පත් කතුවරයා  විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සකස්කොට තිබේ. එනම් එම ලිපියෙහි ප්‍රකාශනය තුළ මා මතු කරන ලද මූලික තර්කාපනය බැහැරකොට ඇත. ඒ විශ්වවිද්‍යාලයේ “සීසීටීවි කැමරා සවිකිරීම නින්දිතයි“ යනුවෙන් මා ප්‍රකාශ කළ අදහසට ප්‍රතිවිරුද්ධ නිග්‍රාත්මක අදහසක් ශීර්ෂපාඨය ලෙස දැක්වීමෙන් අවධාරණය කිරීමෙනි. සීසීටීවි කැමරා සවිකරන්නේ  විශ්වවිද්‍යාලය තුළ ක්‍රමිකව  වැඩෙන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට අවශ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයක උපක්‍රමයක් ලෙස බව මා සඳහන් කළ අදහස වෙනස් කර මහා ශිෂ්‍ය සංගමයේ පටු අදහස ඔප් නන්වා තිබේ. මේ පිළිබඳ මම අතිශය කණගාටු වෙමි. තවද පුවත්පත විසින් මගෙන් විමසන ලද ‍්” නවකවදය හා ශිෂ්‍ය දේශපාලනය අතර සෘජු සම්බන්ධයක් තිබේද? ” යන මූලික පැනයට මා දුන් පිළිතුර වන නවකවධය යනු රටේ පටු දේශපාලන පක්ෂයක අවශ්‍යතාවන් සඳහා වහලුන් නිර්මාණය කිරීමේ උපක්‍රමයක් ලෙස දක්වන ලද මූලික අදහස මෙහි අන්තර්ගත නොවේ.

තවද මා දක්වන ලද අදහස් ප්‍රකාරව මෙහිදී ආචාර්යවරුන් කෙරෙහි දැඩි වගකීමක් තිබෙන මුත්, ශිෂ්‍යයන්ගේ ආචාරශීලීත්වය ගිලිහීයාම  විශ්වවිද්‍යාලය තුළ ප්‍රචණ්ඩත්වය වැඩිවීම කෙරෙහි හේතුවී තිබෙන ආකාරය මෙම ලිපිය අවධාරණය වී නොමැත.

විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් අතර සංවාදය පුළුල් කිරීම සඳහා මෙවැනි පුවත්පතක් ඉතාමත් හොද මත වේදිකාවකි. නමුත් ඒවා යම් දේශපාලන පක්ෂයක අවශ්‍යතාවක් සඳහා මෙහෙයවන්නේ නම් එයම විශ්වවිද්‍යාලය තුළ අර්බුද නිර්මාණය කිරීමට හේතුවේ.  මෙතෙක් කල් නවකවධය භාවිත කළේ, කැට සෙලෙව්වේ, රටේ සමාජවාදී නමින් පෙනීසිටින ඇතැම් දේශපාලන පක්ෂයක පටු අවශ්‍යතා සඳහාය. ගමෙන් නගරයට එන අසරණ දුප්පත් ශිෂ්‍යයන්ගේ පෞරුෂය කඩා එම දේශපාලන පක්ෂ වල ශ්‍රමිකයන් නිර්මාණය  කරවීමට ගත් උපක්‍රමය නවකවධය බවත් මා දක්වන ලද අදහස එම ලිපියේ අවධාරණය නොවීම පිළිබඳව ද මම කණගාටු වෙමි.

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය දේශපාලනය රටේ දේශපාලන පක්ෂවල අවශ්‍යතා සඳහා මෙහෙයවීම දැන් නැවැත්වීම කාලෝචිතය. ‘‘බැම්ම’’ මෙහෙය විය යුත්තේ අප රට නිදහසෙන් පසු සමාජය තුළ   විශ්වවිද්‍යාල අත්දකින ලද පසුගාමී තත්ත්වයන්ගෙන් මුදවා ගැනීම සඳහාය. ඒ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ පෞරුෂය ශක්තිමත් කිරීමට අවශ්‍ය බුද්ධිමය පරිසංවාදය සඳහා මිස ශිෂ්‍ය දේශපාලනය මෙහෙයවන යම් දේශපාලන පක්ෂයක අවශ්‍යතා සඳහා නොවන බව මම තරයේ විශ්වාස කරමි. එසේ නොවුනහොත් ‘‘බැම්ම’’ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා විද්‍යාර්ථීන් අතර පවතින සුසංවාදය  ගිලිහී යෑම වැළැක්විය නොහැකිය. ශිෂ්‍ය දේශපාලනය ශක්තිමත් කිරීම සඳහා ශිෂ්‍යයන් තුළ ස්වාධීන දේශපාලන පෞරුෂයක් ගොඩනැගෙන්නේ නම් එයට ආචාර්යවරුන්ගේ නොමද සහයෝගය ලැබෙනු ඇත.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

මනෝජ් පුෂ්පකුමාර ජිනදාස

Related posts

Leave a Comment