web analytics
You are here
comman කතුවැකිය 

මල් වවා, මල් නෙළමු.

‘‘මල් වෙනුවට වල් වපුරා

මල් ම පැතූ

උන්

හැමදාමත් ඇවිද ගියේ

අපේ මල් මතින්.”

මේ මීට දශක එක හමාරකට පෙර නවක සිසුන් පිළිගැනීමේ අවස්ථාවක දී කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපස ප‍්‍රදර්ශනය කර තිබූ පුවරුවක සටහන් වූ වැකියකි. එවක දේශපාලනයේ නියැලුණු ශිෂ්‍ය ක‍්‍රියාකාරකයින් විසින් මේ පුවරුව ප‍්‍රදර්ශනය කර තිබුණි.

වපුරන දේ අනුව අස්වැන්න ලැබීම ලෝක ධර්මතාවයකි. බුදුන් වහන්සේ මෙම ධර්මතාව මෙසේ පැහැදිලි කළ හ. ‘‘යා දිසං වපතේ බීජං-තාදිසං හරතේ ඵලං” මින් කියැවෙන්නේ ද තමා වගා කරන දේට අනුව අස්වැන්න ලැබෙන බවයි. ඒ අනුව කිසිවෙක් වී වැපුරුව හොත් ඔහුට වී අස්වැන්නක් නෙළගත හැකි ය. මුං වැපුරුවහොත් අස්වැන්න වශයෙන් ලැබෙන්නේ මුං ඇට ය. කිසිවෙකුට වී වැපුරූ විට අස්වැන්න වශයෙන් බඩ ඉරිගු ලැබෙන්නේ නැත. තල වැපුරුවහොත් අස්වැන්න වශයෙන් වී ලැබෙන්නේ ද නැත. එනම්, මේ නියාම ධර්මතාවයෙන් කියැවෙන්නේ අප කරනා දේට අනුව එහි ප‍්‍රතිඵල අපට ලැබෙන බවයි. යමෙක් යහපත් ක‍්‍රියාවන්හි නියැලෙන්නේ නම් ඔහුගේ ක‍්‍රියාවට අනුරූපව යහපත් ප‍්‍රතිඵල ලැබේ. ඒ අනුව අයහපතෙහි නියැලෙන්නා සැමදා ළග කරගන්නේ දුක් පීඩාවන් මය. යහපතෙහි නියැලෙන කිසිවෙකුට අයහපත් දේ සඳහා මුහුණ දීමට සිදු නොවේ.

නමුත් අප කරන ක‍්‍රියාවට සාපේක්‍ෂව එහි ඵලය ලැබෙන වේගය සහ අවස්ථාව වෙනස් වීමට පුඵවන. අප කරන ක‍්‍රියාවට අනුව ලැබෙන ඵලය අප විසින් ම සකස් කරගත් දින දර්ශනයට හෝ පැය දොළහේ ඔරලෝසුවට අනුව ලැබෙන්නේ නැත. ඒ විශ්වයෙහි කාල ගණනය සඳහා විවිධ ක‍්‍රමවේද පවත්නා බැවිනි. ඒ අනුව ඔබ අප කරන ක‍්‍රියාවෙහි ප‍්‍රතිඵල ඉක්මනින් හෝ පමා වී අප පසුපස පැමිණෙයි. ඒ එළදෙනුන් දස දහසක් සිටින තැනක දී වුව ද වසු පැටවා තම නියම මව සොයා එන්නාක් මෙනි.

මෙම නියාම දහමට අනුව උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කරන්නා ජීවිතය ජය ගනියි. ඔහු තමා වපුරන දේට අනුව අස්වැන්න නෙළා ගනියි. අලසව කටයුතු කොට උත්සාහවන්තයාට අකුල් හෙළීම සත්පුරුෂ ක‍්‍රියාවක් නොවේ. ජීවන පැවැත්මෙහි (Short Cut) නැත. ෂෝට් කට් වලින් යන ගමන දිගුකල් නොපවතියි. එබැවින් හැමදෙන උත්සාහ ගත යුත්තේ කෙටි මං සෙවීම පසෙක තබා උත්සාහයෙන් වීර්යෙන් තම පැවැත්ම සකසා ගැනීම යි.

එමෙන් ම වල් වපුරා මල් අපේක්ෂා කිරීම ද නො කටයුතු ය. මල්වල සුන්දරත්වය අත්විඳීමට කැමති බොහෝදෙනා සිදු කරන්නේ මල් වෙනුවට වල් වපුරා, මල් ම පතා නමුත්, මල් නොලැබී ගිය කළ අනෙකාගේ මල් පාත්ති ද විනාශ කිරීමයි. මඳක් සිතන්න. ඔබ සිටින්නේ කොතැන ද?

 

-සංස්කාරක-

2016.10.10

Related posts

Leave a Comment