web analytics
You are here
comman සංවාද 

ශබ්දයෙන් ඇඳීමේ කලාව (Sound Design)

ශබ්ද නිර්මාණකරණය (Sound Design& අද කාලීන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. ලෝකයේ ශබ්ද නිර්මාණකරණය උපයෝගී කරගනිමින් සිදුකොට ඇති නිර්මාණ වඩා වැඩි ජනප‍්‍රියත්වයක් උසුලන නිර්මාණ බවට පත් වී ඇත. විශේෂයෙන් අද වන විට තරුණ පරම්පරාවේ ඉහළ ආකර්ෂණයක් Sound Design කෙරෙහි යොමු වෙමින් පවතිනවා. තාක්ෂණික උපාංග භාවිත කරමින්  නිර්මාණයට අවැසි සියලූම ආකාරයේ නිර්මාණාත්මක හැඩතල සපයන්නට හැකි වීම මෙහි විශේෂත්වයකි. නමුත් කාගෙත් උනන්දුවට සහ අවධානයට  ලක් වී ඇති මෙම ශබ්ද නිර්මාණකරණය ලංකාවේ තාමත් ප‍්‍රාරම්භක අවදියේ පසුවන බවක් දැක ගත හැකිය. ශබ්ද නිර්මාණකරණය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය තරුපති මුණසිංහ මහතා සමග සිදුකළ සංවාදයේ සටහන මෙසේ දක්වමු.

ශබ්ද නිර්මාණකරණය (Sound Design) කියන්නේ මොකක්ද?

ශබ්ද නිර්මාණකරණය ගැන කතා කරන විට සිනමාව පැත්තෙන් උදාහරණ සහිතව පැහැදිලි කරන්න පුළුවන්. බොහෝ වෙලාවට සිනමාව ගැන කතා කරන විට වැඩි දෙනෙක් අවධානය යොමු කරන්නේ රූපයට පමණයි. නමුත් සිනමාවේ දී රූපයට මෙන් ම ශබ්දයටත් විශාල අගයක් තිබෙනවා. මිනිසාට පිහිටා තිබෙන්නේ ඇස් දෙකක් සහ කන් දෙකක්. එහි අවශ්‍යතාවය සියයට 50 බැගින් පවතිනවා. නැතිනම් එක් ඇසක් සහ කන් දෙකක් හෝ එක කනක් සහ ඇස් දෙකක් හෝ බැගින් පිහිටන්නට තිබුණා. නමුත් එසේ නොවී ශාරීරිකව වුවද ඇස් දෙකක් සහ කන් දෙකක් පිහිටා තිබෙන්නේ රූපයත් ශබ්දයත් එක හා සමානව වැදගත් වන නිසා. ඇත්තෙන්ම ඒ නිසා නිර්මාණයක දී ශබ්දය ඉතාම බලපෑම්කාරී සහ වඩාත් වැදගත් කොටසක් ලෙස හඳුන්වන්ට පුළුවන්. ශබ්ද නිර්මාණකරණය සඳහා ඒ හා සම්බන්ධ තාක්ෂණය වැදගත් කොටසක් වගේම මගේ මතය වන්නේ ඒ සඳහා නිර්මාණාත්මක චින්තනය (Creative Thinking& විශේෂයෙන් වැදගත් වන බවයි. එනිසා මෙම ශබ්ද නිර්මාණකරණයේ දී ඒ හා සම්බන්ධ නිසි තාක්ෂණික හා නිර්මාණාත්මක දැනුම මෙන් ම නිර්මාණාත්මක චින්තනයත් යන අංශ දෙක ගැන ම කතා කළ යුතුයි.

ශබ්ද නිර්මාණකරණයේ ආරම්භය සිදු වූයේ කෙසේද?    

ඇත්තෙන්ම මුල් කාලීනව අපිට ගී‍්‍රක නාට්‍ය කලාවේ මේ ශබ්ද නිර්මාණකරණයේ ලක්ෂණ දැක ගැනීමට පුළුවන්. වර්තමානයේ ශබ්ද නිර්මාණකරණය කියන කාරණාව වක‍්‍රාකාරව මෙම ග‍්‍රීක නාට්‍ය තුළ දැක ගන්නට ලැබුණා. මධ්‍යකාලීන යුගයේ Mistary/Miracal/Morality ලෙස නාට්‍ය වර්ග 03 ක් හඳුනා ගන්නට පුළුවන්. එහිදී විශේෂයෙන් ඉදිරිපත් කෙරුණේ අපාය සහ දෙව්ලොව අතර වෙනසයි. එය පෙන්වීම සඳහා නාට්‍යයට ශබ්දය උපයෝගී කොට ගෙන තිබුණා. වර්තමානයේ බටහිර නාට්‍ය තුළ ශබ්ද නිර්මාණකරුවෙක් (Sound Designer& සිටිනවා. ඔහුට පැවරුණ විශාල වගකීමක් තිබෙනවා. ශබ්ද නිර්මාණකරණයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස Francis Ford Coppola විසින් නිර්මාණය කරන ලද Apocalypse now චිත‍්‍රපටයේ ශබ්දය අපූර්ව ලෙස භාවිතා කරනවා. උදාහරණයක් ලෙස මෙම විත‍්‍රපටයේ එක්තරා අවස්ථාවක සොල්දාදුවෙක් ඇඳේ වැතිරී සිවිලිමේ ඇති විදුලි පංකාව දෙස බලා සිටිනවා. ඔහුට ක‍්‍රියාන්විතය සඳහා ලැබිය යුතු අණ රැගෙන   එන්නේ හෙලිකොප්ටරයෙනි. එහිදී විදුලි පංකාවත් හෙලිකොප්ටරයේ හඬත් අපූර්ව ලෙස සංයෝජනය කරමින් එම අවස්ථාවේ සොල්දාදුවාගේ සිතෙහි ඇති ව්‍යාකූල බව ශබ්දය තුළින් Walter March ඉදිරිපත් කොට ඇත. ඒ 1979 දී, මෙයින් පසු ශබ්ද නිර්මාණකරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු වෙනවා.

මීට අමතරව Animation චිත‍්‍රපට නිර්මාණයේ දී Benburnt ශබ්ද නිර්මාණකරණයේ දී විශේෂයෙන් මතක් කරන්න පුළුවන්. බොහෝ දෙනාගේ අදහස්වලට අනුව ශබ්ද නිර්මාණකරණයේ දී Benburnt හා Coppala යන දෙදෙනා  එක හා සමාන වැදගත්කමක් ගන්නවා. මොකද Sound Design කියන කාරණාව වැඩි කතාබහකට සහ නිර්මාණකරණයට දායක කර ගැනීමට ඔවුන් දෙදෙනාගෙන් වැඩි දායකත්වයක් ලැබුණායැයි කියන්නට පුළුවන්. වර්තමානය වන විට ලෝක මට්ටමේ නිර්මාණ තුළ ශබ්ද නිර්මාණකරණයට වටිනා තැනක් සහ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

ශබ්ද නිර්මාණකරණය කලාවක් වන්නේ කොහොමද?

යම්කිසි නිර්මාණයක දී අපිට, එයට අවශ්‍ය ශබ්දය ගැන අවබෝධයක් තිබිය යුතුයි. සැබැවින් ම එය නිර්මාණාත්මක කාර්යයක්. සෑම ශබ්දයක් ම අවශ්‍යද? නැද්ද? කියන කාරණාව සිතා බලන්නට අවශ්‍ය වෙනවා. උදාහරණයක් ලෙස යමෙක් කතා කරන විට ඔහු සිය අතින් මේසයට තට්ටු කරනවා යැයි සිතමු. නමුත් එම දර්ශනයේ දී ඒ හ`ඩ නිර්මාණයට වැදගත් නොවේ නම් එය ඉවත් කිරීම් හැකියාව පවතිනවා. ඇතැම් විට එම හ`ඩ ඔහුගේ මානසික ව්‍යාකූල බව පෙන්නුම් කිරීමට උපක‍්‍රමයක් ලෙස භාවිත කළ හැකිය. ඒ අනුව නිර්මාණයක දී ශබ්දය අවශ්‍යද? නැද්ද? යන්න තෝරා නිර්මාණයට භාවිත කිරීම ශබ්ද නිර්මාණකරණයේ දී සිදු කරනු ලබයි. ශබ්ද නිර්මාණකරණය කරන පුද්ගලයා” ශබ්දයෙන් ඇඳීම කරන පුද්ගලයා (Sound Designer) ලෙස හඳුන්වා දිය හැකියි. මෙහි කාර්යභාරය කතා කිරීමේ දී ශබ්දයේ කොටස් 05 ක් හඳුන්වා දෙන්නට පුළුවන්.

1¡          දෙබස් (Dialogs)

  1. 2. සංගීතය (Music)
  2. 3. ශබ්ද ප‍්‍රයෝග (Sound Effects)
  3. 4. හඬ කැවීම (Foley & ADR)
  4. 5. ස්වභාවික හඬ (Natural Sound/Not Sound)

මෙම කොටස් 05 උපයෝගී කරගෙන ශබ්ද නිර්මාණකරුවන් විසින් ශබ්ද නිර්මාණකරණයේ යෙදෙයි.

ශබ්ද නිර්මාණකරණය වඩාත් ප්‍රශස්ත අයුරින් සිදු කර ඇති නිර්මාණ මොනවාද

ඇත්තෙන්ම මේ සඳහා බොහෝ නිර්මාණ උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඒ අතරින් Apocalypse Now, Citizen Kane, Touch of Evil, The Birds, Star Wars, Riders of the Lost Ark, Eraser head, Raging Bull, Saving Private Ryan, The Gravity, Wall-E යන චිත‍්‍රපටත්, ශ‍්‍රී ලංකාවේ නිර්මාණ අතරින් D.B නිහාල්සිංහගේ ”වැලි කතර”, වසන්ත ඔබේසේකරගේ ”කැඩපතක ජායා” වැනි සිනමාපටත් දැක්වීමට පුළුවන්.

ශබ්ද  නිර්මාණකරණය අධ්‍යයන කළ යුතු විෂයයක් බවට පත් වූයේ කෙසේද?

මෙය 20 වන සියවසේ මැද භාගයේ සිට ප‍්‍රායෝගික විෂයක් ලෙස අධ්‍යාපන ක්ෂේත‍්‍රයට එකතු වෙනවා. විශේෂයෙන් ඇමරිකාව,  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව වැනි රටවල නිර්මාණකරණයට අවශ්‍ය මූලික දැනුම ලබාදෙනවා. ලෝකයේ මේ විෂය ක්ෂේත‍්‍රයට සාධනීය මට්ටමේ අධ්‍යාපනික පසුබිමක් තිබෙනවා. එය නිර්මාණය වී තිබෙන්නේ ඒ  ඒ රටවල ශබ්ඳ  නිර්මාණකරණය පිළිබඳ ඇති වැදගත්කම හදුනාගෙන ඇති නිසයි.

ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධව පාඨමාලා පවතිනවා. ඊට අමතරව අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ ආරම්භ කළ සිනමාව හා රූපවාහිනි පාඨමාලාව( Film and Television Course& තුළින් මේ ශබ්ඳ නිර්මාණකරණය (Sound Design) පිළිබඳ හැදෑරීමක් සිදුකරනු ලබනවා. එය අනාගත නිර්මාණකරණයේ සාධනීය ප‍්‍රතිඵල ලඟා කරගැනීමට වඩාත් වැදගත් වේවි. හැබැයි මගේ පෞද්ගලික මතය වන්නේ අපි ඉගෙන ගත යුත්තේ එහි තිබෙන තාක්ෂණය පමණක්ම නොවේයි. විශේෂයෙන් ශබ්ඳ  නිර්මාණකරණයේ දී  එයට අදාල නිර්මාණාත්මක චින්තනය වර්ධනය කරගත යුතුය. නැතිනම් එම කාර්ය වඩාත් සිත්ගන්නා සුළු, මිනිස් හදවතට දැනෙන ලෙස ඉදිරිපත් කිරිමට නොහැකියි. විශේෂයෙන් ශබ්ද තුළින් නිර්මාණයට ජීවය ලබා දීමට හැකියාව පවතිනවා. එම ජීවය ලබා දීමට නම් මේ පිළිබඳ නිසි අවබෝධය, නිර්මණාත්මක චින්තනය මෙන්ම නිර්මාණ රසවින්දනය තිබිය යුතුයි. කලා කරුවන් සියළු දෙනා මනව විද්‍යාව හැදෑරිය යුතුයි, ඔවුන් පරිසරය හා බද්ද වී කටයුතු කළයුතු වෙනවා. මොකද ඒ හරහා ජීවයක් සහිත නිර්මාණයක් බිහිකිරීමේ ප‍්‍රවණතාවය වැඩි බවයි මගේ අදහස.

රූපයට මෙන්ම ශබ්දයටත් නිර්මාණයේ ජීවය තීව‍්‍ර කිරීමට හැකි බව මෙම කතා බහ තුළින් ප‍්‍රත්‍යක්ෂ  වූ කාරණයකි. එමෙන්ම ලෝකයේ වඩාත්  නවීන තාක්ෂණය හා ගණදෙනු කරමින් එය නිර්මාණකරණයට උපයෝගි කර ගැනීම ශබ්ද නිර්මාණකරණයේ දැකගත හැකි මූලික ලක්ෂණයකි. නමුත් එහි තාක්ෂණික කාරණාව පමණක් නිර්මාණයක සාර්ථකගත්වයට බල නොපායි. එයට නිර්මාණත්මක චින්තනය සහ නිර්මාණත්මක දැනුම අවශ්‍ය බව පෙනීයන කරණාවකි. ඒ සදහා අවශ්‍ය වටපිටාව නොයෙසේ නම් පසුබිම සකස් කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ මෙම පාඨමාලාව වැදගත් කාර්ය භාරයක් ඉටුකිරීමේ පෙරනිමිති සැලකරයි. එය මෙම ක්ෂේත‍්‍රයට ඇළුම් කරන ඔබගෙත්, මගෙත්, කලාත්මක නිර්මාණයන්ට ආදරය කරන සියළුම දෙනාට සතුටට කාරණයකි.

සංවාද සටහන‐ එච්. එම් ප‍්‍රබුද්ධිකා රත්නායක.

Related posts

Leave a Comment